පුස්තකාලයාධිපතිනියගේ ප්‍රකාශය

 

 

“පොත” යනුවෙන් සරල බසින්ද “ග්‍රන්ථ” යනුවෙන් වියත් බසින්ද හදුන්වන ලද මේ අනගි වස්තුව ඈත අතීතයේ සිටම ඉතා වටිනා කෞතුක සම්පතක් වශයෙන් රැකබලාගත් බව ඉතිහාසයෙන් මනාවට ඔප්පුවේ. දේශීය මෙන්ම විදේශීය ආක්‍රමණ වලදී පොත සංඝයාවහන්සේලා විසින් පණමෙන් රැක බලාගත් සම්පතක් ලෙස අතීත මුලාශ්‍ර වලින් අපට පෙනේ.පොත්පත්වල අඩංගු කරුණු කොතරම් වැදගත් කමකින් යුක්තද යන්න මෙයින් පැහැදිලිය. 

 

මුද්‍රණ ශිල්පයේ දායාදයක් වශයෙන් වර්තමානයේ විවිධ විෂයන් යටතේ අතිවිශාල ග්‍රන්ථ සම්භාරයක් මුද්‍රණයවේ.මේ සියල්ලම අපට ලබාගත නොහැකිය.මිලදී ගතද නොහැකිය. මෙය අපට පරිහරණය කල හැක්කේ අති විශාල දැනුම් සම්භාරයක් එකතු කර තිබෙන පුස්තකාලය මගිනි කිවොත් එහි වරදක් නැත.අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ජිවිතාලෝකයටඅවශ්‍ය දැනුම ලබා ගැනීම සදහා අප සැමට උපකාර වන ආයතනය පුස්තකාලයයි.පුස්තකාලයෙන් අප සැමට ලබාදෙන මේ සේවය වෙන කිසිම ආයතනයකින් බලාපොරොත්තු විය නොහැකිය.

ඒ අනුව ගත්කල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය හා සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබද සියලුම තොරතුරු ඇතුළත් අපගේ වෙබ් පිටුවට ප්‍රවේශවී නව තොරතුරු පිළිබඳව තව තවත් දැනුම වර්ධනය කර ගැනීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත.

ගම්පහ ප්‍රදේශයට පමණක් නොව ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන විදේශිකයන්ටද විවෘතව ඇති පුස්තකාලය බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලයයි.

පුස්තකාලයක් විවෘත කිරීම හිරගෙයක් වැසීමට උපකාරීවන බව විද්වතුන්ගේ අදහසයි.එවැනි වටිනා විවිධ සම්පත් ඇති ආයතනයක් වන පුස්තකාලයට ඔබ දරුවන්,අසල්වාසීන් හා හිතවතුන්ද දැනුවත් කොට මෙම මහඟු සේවාවෙන් විපුල ඵළ නෙළාගන්නා මෙන් ආරාධනා කරමි.